අදත් කොකේන් කිලෝ 219ක් රේගුවට මාට්ටු…ලංකාව කොනේන් තිත්පලක් දෝ සැකයක්…!!!

438 0

අධිකරණ නියෝග මත ශ්‍රී ලංකා රේගුව විසින් ඉකුත් 14 වැනිදා ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයෙහි රඳවා තබා ගත් සීනි කන්ටේනර් බහාලුම් තොගයක් පරීක්ෂා කිරීමේ දී එවා තුළ සඟවා තිබූ රුපියල් කෝටි 328කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 219 ක් පමණ ප්‍රමාණයක් අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රසීලයේ සිට සීනි ගෙන්වන මුවාවෙන් මෙම කන්ටේනර් බහාලුම් මෙරටට ආනයනය කර ඇති අතර එහි තිබූ බහාලුම් 50කට වැඩි ප්‍රමාණයක් රේගු භාරයට ගැණුනේ ඉකුත් 14 වැනි දා ය. මේ අතරින් අද බහාලුම් 13ක් පරීක්ෂාවට ගැණුනු අතර ඉතිරි බහාලුම්වල තවත් කොකේන් ඇති බවටයි රේගුවේ විශ්වාසය.

මීට පෙර ද අවස්ථා තුනකදී බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන ලද සීනි කන්ටේනර්වල තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමුවු අතර, මෙහි ආසන්නතම සිද්ධිය ලෙස කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයෙන් සීනි කන්ටේනරයක සූක්ෂම ලෙස අසුරා තිබියදී පසුගිය 9 වැනිදා හමු වූ රුපියල් කෝටි 45 ක වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 31 ක් සොයාගැනීම ය.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ රේගුව මගින් දිගින් දිගටම සීනි අඩංගු කන්ටේනර් පරීක්ෂා කිරීම නිසා ව්‍යාපාරිකයන් බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම අවම කර ඇති බවයි. මේ වන විට මෙරට සීනි අවශ්‍යතාවයෙන් සියයට 80 ක් ඉන්දියාව ඇතුලු වෙනත් රටවලින් ගෙන්වන බවද ඔවුන් පැවැසීය.

කොකේන් තොගය මෙරටට ගෙන්වා ඇති පෞද්ගලික ආයතනය පිළිබඳව තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇතත් එය සීනි තොගයෙන් ඉවත්කරගෙන යෑමට සූදානමින් සිටි ජාවාරම්කරු සොයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බ්‍රසීලයෙන් සීනි තොග පටවා එවනු ලබන කන්ටේනර් තුළට අතරමඟ වෙනත් රටකදී මත්ද්‍රව්‍ය තොග ඇතුළු කරනවාද යන්න ගැන සැක පහළ කරන පොලිසිය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලිසියට මෙන්ම රටවල් ගණනාවක පිහිටි මත්ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් ඒකකවලටද දැනුම් දී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

 

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *