අවසන් ගමන් යන අමුතු පත්තරකාරයා ..!!!

1550 0
WWWWWWWWWWWWWWWWWW
අමුතු පත්තරකාරයා චින්තන සමුගනියි. ඔහු නමින් චින්තන ජයසේනය. කොලම නමැති තීරු පුවත්පත හරහා මෙරට පත්තර කලාවේ වෙනසක් කළ ඔහු සිත්තර, සිත්සර, අද , හෙට වැනි පුවත්පත්ද නිර්මාණය කළේය. වික්ටර් රත්නායකගේ ‘ස“ ප්‍රසංගයට නම තැබුවේද ඔහුය. චින්තන සිනමා විචාරකයෙක් විදියට ජනපි‍්‍රය වුයේ‘කොලමෙනි’ සිනමා විචාරකයකු ලෙස ඔහුගේ භාෂාවේ රැඳී තිබුණේ නිර්දයභාවය හා උත්ප්‍රාසයයි.
‘‘ මං ‘කොලම’ පටන් ගත්තේ තනි තීරුවක පත්තරයක් විදියට. මිල ශත 10යි. එ්කත් අරගෙන මම ගියා තුම්මුල්ලෙ පත්තර කඬේ ලියනගේ මුදලාලි හම්බවෙන්න. මිනිහා මේ තීරුව දැක්ක ගමන් මගේ ඇඟට ගොඩවෙලා මොකක්ද මේ, ඕවා කොහේ විකුණන්නද කියල අහපි. මං ඉතිං ටිකක් යාප්පුවෙලා කොලම මිනිහා ළඟට දාලා ආවා. ඊට පස්සෙ ලියනගේටත් හරි පුදුමයි. කොලම මිනිහා ගාව එක වතාවකට දෙසිය පනහක් විකිණෙන්න පටන් ගත්තා. කොලම නැද්ද කියලා පාඨකයො ඒක අහගෙන එන පත්තර කඩයක් බවට ලියනගේගෙ කඬේ පත්වුණා. ඔයින් මෙයින් මුදලාලිත් මාත් එක්ක හුඟක් යාළුවුණා.’ කොලම නමැති නම එම තීරුවේ සඳහන්ව තිබෙන්නේ අකුරු වර්ග තුනකිනි. ‘ල’ යන්න අනෙක් අකුරු දෙකට වඩා බොහෝ සෙයින් විශාලය. ‘කො’ යන්න පුංචිය. ‘ම’ යන්න කො යන්නට වඩා ටිකක් ලොකුය. ‘මේක ගැහුවෙ ලෙටර් ප්‍රෙස් ක‍්‍රමයට. නමට අකුරු අමුණන්න බලනකොට එකම ජාතියෙ අකුරු එතන නොතිබුණු නිසයි අකුරු ප‍්‍රමාණ තුනකින් කොලම කියන නම හදන්න වුණේ. හැබැයි ඒක අලූත්ම වැඩක් වගේ පෙනුණා.‘‘ මේ චින්තන වරක් රාවය පුවත්පතේ විමලනාත් වීරරත්න සමඟ කළ ප්‍රකාශයකි.
චින්තන 1970 දි පමන අද පත්තරය පටන් ගත්තේ අනුර බණ්ඩාරනායකගේ ආරාධනයෙනි. මේ කාලයේ ඇත්ත පුවත්පතේ බී.ඒ. සිරිවර්ධන, රිචඞ් විජේසිරි වැනි අය හමුවන්නටත් ආ ගිය චින්තනට ‘ඇත්තේ‘ බී. ඒ. සිරිවර්ධන උපදෙස් දී තිබුණේ කොතන වැඩ කළත් කෙළින් වැඩ කරන්න යනුවෙනි. චින්තනට හැරිස් හුළුගල්ල සමීපවන්නේ 1975දීය. චින්තනගේ සමහර පත්තර නැවතී තිබුණු එවකදී හැරිස් කීවේ අලූත් වැඩක් කළ හැකි නම් මුදල් ටිකක් වියදම් කළ හැකි බවකි. නව ආරක චිත‍්‍ර කතා පත්තරයක් පිළිබඳ අදහස ඒ වනවිටත් චින්තන තුළ මතු වී තිබුණි. හෙතෙම සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පටන් ගත්තේ කච්චේරියේ වැඩ කරමින් සිටි කැමිලස් පෙරේරාත් සම්බන්ධ කරගෙනය. එ් වන විට පළවෙමින් තිබුණු එකම චිත‍්‍රකතා පත‍්‍රය වූයේ ලේක්හවුස් ප‍්‍රකාශනයක් වූ සතුටය. සිත්තරට කැමිලස් ගජමෑන්, දොංසේතං, ලපයා, සිමෝනා වැනි චරිත ඇසුරින් හාස්‍ය හා සමාජ විචාරාත්මක චිත‍්‍ර කතා දෙකක් එක් කළේය. සරත් කවිරත්න හිතට වහල්වීමි කතාව ගෙනාවේය. ලිීලාරත්න ස්පාටකස් එකතු කළේය.
සරත් මධු ඉතිං ඊට පස්සේ ඇන්දේය. එ් නං දැම්මේත් චින්තනය. යුනිිකෝ ටෝගා මෙන්ම සල්ෆා වැනි විද්‍යා ප‍්‍රබන්ධයක් ද චිත‍්‍ර කතාවක් ලෙස සිත්තරෙන් එළියට ආවේය. පළවිය යුතු චිත‍්‍ර කතා කුමන ආකාරයේ ඒවාද යන්න හා සංයුතිය ගැන මුළුමනින් සැලසුම් සකස් කළේ චින්තනය. චිත‍්‍රකතාවක් නිව්ස්වලදි වගේ මොකටද කාටද කොහොමද කොහේද ඇයි එහෙම වුණේ කියනා හේතුඵල සම්බන්ධය මත ගොඩනැගීමටයි මම උපදෙස් දුන්නෙ. මොකටද කාටද කියන එකෙන් තොරව චිත‍්‍ර කතාවක් වුණත් පළකරන්න මම කැමති වුණේ නැහැ. හැරිස් ඇහුවා පළමුවැනි පත්තරේ කීයක් පි‍්‍රන්ට් කරන්නවද කියලා. මං කිව්වා 25,000ක් ගහමු කියලා. හැරිස් කිව්වා තව අවුරුදු දහයකින් නම් මං විසිපන්දාහට අනුමැතිය දෙන්නම් කියලා. එයා වැඬේ පහළට දාලයි හිතුවෙ. හැබැයි මම කොහොමහරි විසිපන්දාහක් ගැස්සෙව්වා. පළමුවැනි පත්තරේ ගන්න තුම්මුල්ලෙ කඬේ දොරවල් කඩාගෙනයි මිනිස්සු ආවේ. සිත්තර ඉතා ඉක්මනට සතියක සෙල්ස් ලක්ෂ දෙකහමාර පැන්නා. හැරිස් හුළුගල්ල හොල්මං වෙලයි මේ වැඬේ දිහා බලාගෙන හිටියෙ. හැරිස් එ් පාර මට රේසිං කාර් එකකුත් තෑගි දුන්නා. පඩිය රුපියල් 2500යි. 75 දී එ්ක ලොකු ගාණක්. සතිපතා සේල්ස් ප‍්‍රමෝෂන් බලන්න අපි රට පුරා යනවා. මාත් හොඳට කෑවා බිව්වා. තිඹිරිගස්යායෙන් ගේකුත් ගත්තා. ඞී.එස්. සේනානායක පාවිච්චි කරපු වොල්වෝ කාරෙකත් පස්සෙ කාලෙක රු. 1500කට ගත්තා.’ ඒ චින්තනගේ මතක සටහන් විමලනාත්ට පැවසූ අයුරුය.
කලක් නැවතී තිබී යලි කොලම ආරම්භ කල විට ඔහු එය ඉංග්‍රීසි හා සිංහල යන ද්විභාෂාවෙන්ම පල කළේය. එකම පුවත්පත දෙකට බෙදා එලෙස පළ කළේය. ඇතැම් කලාපවලට මුල් පිටුවට ඔහු මගේ ඡායාරූප යොදා ගති. ඇතැම් සවස් යාමයන්හි කොල්ලුපිටියේ ලකී ප්ලාසා එකේ ඔහුගේ කාර්යාලයේ මධුවිතකින් සැනසෙමින් අපි බොහෝ දේ කතා කළා මට මතකය. එහි ශීතකරණයේ ඒ සඳහා අවශ්‍ය කරන අඩුමකුඩුම තැන්පත් වී තිබිණි. ඒ සවස් යාමයන්හි ඉතා අපූරු මිනිසුන් රැසක් එතැනට වී සකල කලාවන් පිළිබඳවත්, දේශපාලනය ගැනත්, දෙපිට කැපෙන වදන් සහිත කතන්දරත් කිවුවා මට මතකය. චින්තනගේ ලියැවිල්ල හරිම අපූරුය. ඇතැම් විට නෙකෙුට එහි වැදගත්කමක් ඇතැයි නොසිතෙන්නට පුඵවන. එහෙත් ඔහු කියූ දේ ලෙහෙසියෙන් ඉවත දැමිය නොහැකිය. පහර ගැසිය යුතු දෙයට ඔහු උපරිමයෙන්ම පහර දුන්නේය. ඔහු වරක් අජාසත්ත චිත්‍රපටය සඳහා ලියූ විචාරයක මෙලෙස සඳහන් විය. මෙම චිත්‍රපටයේ බිම්බිසාර දේවියගේ සහ අජාසත්ත දේවියගේ දරුගැබ් සහිත කුසවල්වලට වගකිව යුතු වන්නේ ඒ රජවරු දෙදෙනා නොව චිත්‍රපටයේ වේෂ නිරූපක සුබ්බයියාය. යනුවෙනි. ඒ එහි වේශනිරූපණයේ දුර්වල තැන් කියා පාන්නටය. චින්තන කියන්නේ ජීවිතය ඉතා සුන්දර විදියට දැක්ක කලාකාරයෙකි.
ඇත්තෝ කති බොති සුඛති නැත්තෝ සුත්ත පට පෙරලා බලති මේ චින්තන ලියූ අපූරු ලියවිල්ලක්. එහි අපූරු සැගවුණු අරුතක් තියෙනවා. එයින් කියැවෙන්නේ ඇත්තෝ කති බොති සුඛ විහරණය කරති නැත්තෝ සූත්‍ර පිටකය පෙරලාගෙන ජීවත් වීමේ අරුත කුමක්දැයි සොයති යන්නයි. ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටි කතා කරුවෙකු, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු හා විචාරකයෙකු වූ චින්තන ලියු කතා ‘චින්තන කතා’ නමින් පොතකට එක්ව තිබේ. මල් සතක් සේ හිරු නැඟෙන්නා, 4 වාට්ටුව ඔහු ලිවූ කවි හා කෙටිකතා ඇතුලත් පොත් දෙකක්. රසකාමී චරිතයක් වූ චින්තන ජයසේන මිතුරාට අපේ ආචාරය. මිය යන විට 68 වැනි වියේ පසු වූ ජයසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (3) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
-ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා fb -උපුටා ගැනීමක්

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *