“දෙබස් කථන මුද්‍රා ගීත නාටක” කලාවේ (ජහුටා) නිර්මාතෘ සර්ධාපති ශූරීන් දැයෙන් සමුගනී…

713 0

ශ්‍රී ලංකාවේ ග්‍රාම්‍ය ජනතාව අතර ජනාදරයට පත් “දෙබස් කථන මුද්‍රා ගීත නාටක” කලාවේ (ජහුටා) නිර්මාතෘ වන දේශීය නර්තන කලාවට ඉමහත් සේවයක් කළ රාජ්‍ය  සම්මානලාභී කලාභූෂණ එම්.පී. සර්ධාපති මහතා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි එමහතා මිය යන විට 76වන වියේ පසුවිය. එම්.පී. සුබද්‍රා සහ සී.පී. නුරාති යුවලට දාව කටුපොත සිඹලන්ගමුවේ දී උපත ලද සර්ධාපති මහතා දරුවන් 7 දෙනෙකු ගේ ආදරණීය පියෙකි. මහා බ්‍රිතාන්‍යයේ දී මහ රැජින අතින් රන් පදක්කම් ලත් මෙතුමා උඩරට නර්තන ගායන වාදන හා ශාන්තිකර්ම පිළිබඳ පාරම්පරික ජ්‍යේෂ්ඨ කලා කරුවෙකි.

පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් මෙන්ම කලක් එම කණ්ඩායම මෙහෙයවූ නායකයා (සාජන්) ද වන මෙතුමා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ නර්තන ශිල්පියෙකු ලෙසද සේවය කර ඇත.

එම්.පී. සිරිසේන නර්තන ශිල්පියා සමග එක් වී ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් “දෙබස් කථන මුද්‍රා ගීත නාටක” කලාව(ජහුටා) ආරම්භ කළේ මෙතුමන් විසිනි. සහොදරයින් හත් දෙනෙකුගෙන් දැනට දෙදෙනෙකු ජීවත්ව සිටින අතර රාජ්‍ය නැටුම් කණ්ඩායමේ කලක් සේවය කර දැනට නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ප්‍රේමන් මන්ත්‍රිපති මහතා මෙතුමාගේ බාල සොහොයුරා වෙයි.

දේහය එතුමා පදිංචිව සිටි නිකවැරටිය විතිකුලිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 17 දින සිදු කිරීමට නියමිතය.

(නිකවැරටිය – අශෝක චන්ද්‍රසේකර)

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *