‘පරිසරයයි – ජීවිතතයි’ හොඳම පරිසර වැඩසටහන කරනවා – CSN චන්දන සමන් කුමාර

503 0
බෞද්ධන් වැඩිමනක් වෙසෙන රටක් ලෙස ශ‍්‍රී ලංකාවේ බෞද්ධාගමික වැඩසටහන්වලට ද ඉතා ඉහළ පිළිගැනීමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අතර මාධ්‍ය ආයතනවලින් ද නොයෙකුත් නිර්මාණාත්මක බෞද්ධ වැඩසටහන් නිර්මාණය කරමින් සිටින බව සැබෑය. එහෙත් මේ දිනවල මෙරට රූපවාහිනී නාලිකාවකින් වැඩිම දෙනෙක් නරඹන බෞද්ධාගමික වැඩසටහනක් ලෙස වාර්තා වන්නේ සීඑස්එන් නාලිකාවෙන් දිනපතා පස්වරු 6 සිට 6.30 දක්වා විකාශය වන ‘‘අමාගඟුල ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව’’ වැඩසටහන යි. මේ ‘‘අබතෙල් පහන් පූජාව’’ වැඩසටහන ඔබේ ආලින්දයට රැගෙන එන නිර්මාණයකරු චන්දන සමන් කුමාර යි.

unnamed (1)

මෙවර අපොස උසස් පෙළ විභාගයට සහ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන් මෙන් ම වැඩිහිටියනුත් පසුගිය දිනවල ඉතා ඕනෑකමින් සම්බන්ධ වූ බෞද්ධ ආගමික වැඩසටහනක් බවට ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ‘‘අමාගඟුල ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව” වැඩසටහන පත්වුණා. කැමතියි මුලින් ම චන්දනගෙන් මේ වැඩසටහන ගැන දැනගන්න…

ඔව්. ‘‘අමාගඟුල ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව” ආරම්භයේ ඉඳලා මම ටිකක් මතක් කරන්නම්. මේ වැඩසටහන ආරම්භ වන්නේ දීගල පියදස්සී ස්වාමීන්වහන්සේ සමඟයි. ‘‘අබතෙල් පහන් පූජාව’’ උන්වහන්සේ ගේ සංකල්පයකට අනුව ආරම්භ වූ එකක්. හැබැයි මේ වැඩසටහන ආරම්භ කරන්න පෙර මම අමාගඟුල නෙළුම් මල් පූජාව නමින් වැඩසටහනක් ආරම්භ කරලා තිබුණා.

ඒ වැඩසටහන ආරම්භ වෙන්නේ පිල්ලෑව බෝධීන්වහන්සේ ට නෙළුම් මල් ලක්ෂයක පූජාවක් සංවිධානය කරමින්. මම ඉන්දියාව වැනි රටවල දැකලා තිබුණා පූජා භූමි වැහෙන්න මල් අතුරනවා. ඒත් පිල්ලෑවෙන් තමයි පළමු වතාවට අපේ රටේ මළුවක් වැහෙන්න ම නෙළුම් මල් අතුරලා ඉතා අලංකාර ලෙස එවැනි පූජාවක් සිදුකිරීම ආරම්භ කළේ. ඒ 2004දි. ඉන් පස්සේ වසරක් පාසා අතවතුගොඩ සුමන සමන් දේවාලේ මේ පූජාව අපි කරගෙන ආවා.

මේ අතරතුරේ තමයි ගුවන් විදුලි නාලිකාවකින් දීගල පියදස්සී ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාවකට සවන්දීමට මට අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙනකොට උන්වහන්සේ යුද්ධ හමුදාවේ බෞද්ධ උපදේශක ස්වාමීන්වහන්සේ ලෙස කටයුතු කරමින්සි රට ජාතිය සහ අපේ ආගම වෙනුවෙන් මහඟු වැඩ කොටසක් කරගෙන ගොස් තිබුණා. මේ සියලූ තොරතුරුත් එක්ක මම උන්වහන්සේ ට ආරාධනා කළා මා සමඟ අලූත් බෞද්ධ වැඩසටහනක් ආරම්භ කරන්න. ඒ අනුව තමයි ‘‘අමාගඟුල නෙළුම් මල් පූජාව’’, ‘‘අමාගඟුල ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව’’ බවට පත්වෙලා මේ තාක් දුරට කරගෙන එන්නේ. ඉතා ඉහළ ජනතා ඉල්ලූමක් තිබෙනවා මේ වැඩසටහනට අදවන විට. ජනතාවගේ ආරාධනයෙන් අපි දිවයිනේ කුමන හෝ තැනක සෑම මසකම මේ උතුම් අධිෂ්ඨානාත්මක පුණ්‍යකර්මය සිදුකරනවා . ඒ වැඩසටහන සෑම මසකම පසළොස්වක පොහොය දිනකම රාත‍්‍රී නවය හමාරරේ සිට පැය දෙක හමාරක කාලයක් විකාශය කරනවා සී.එස්.එන් නාලිකාව ඔස්සේ. අන්න ඒ වැඩසටහන්වල තියෙන හොඳම ආශිර්වාදාත්මක කාව්‍ය දේශනා අරගෙන තමයි අපි දිනපතා සවස 6සිට පැය භාගයක් විකාශය කරන්නේ

අලූත් වැඩක් කරනකොට කැපිලි කෙටිලි එනවා. ඒත් බෞද්ධ වැඩසටහනක් නිසා ඔබට ඒ අභියෝගය නැතුව ඇති නේද?

මමත් එහෙම හිතුවා. මේ බෞද්ධ රටේ අපේම බෞද්ධයන් වෙනුවෙන් යමක් කරනකොට ඉතා සතුටින් ඒක වැළඳ ගනීවි කියා සමාජය. ඒක සාර්ථකයි. සමාජයට මේ වැඩසටහනේ ඇති ඉතා වටිනාකම දැනෙන්න වැඩි කාලයක් ගතවුණේ නෑ. හැබැයි අපේම ශාසනය වෙනුවෙන් කැපවී සිටින පිරිස් මේ මහා පිංකමට මදි නොකියන්න කෙනහිළිකම් කළා මුලින්. මාධ්‍ය නාලිකාවල ප‍්‍රසිද්ධියේ ම විවේචනත් කළා. ඒ සියල්ල මේ වැඩසටහනේ තියෙන ගුණාත්මක බව නිසා ම යටපත් වුණා.

සුදු වතින් සැරසිලා සුදු මල් මිටක් පීරිසියක තියන්, ඒ මැදින් දල්වපු අබ තෙල් පහනක් තියන්, ඒ පහනත් අරගෙන පැය දෙක හමාරක් එකම තැනක හිටගෙන මේ අධිෂ්ඨාන පූජාව පවත්වනවා. මේක පහසු කාර්යයක් නොවෙයි. සිතේ ඇතිවන උතුම් චේතනාවත් එක්කමයි මේ පිංකම කරන්නේ. මෙවැනි උතුම් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ලැබීමම මට ලැබුණු මහඟු අවස්ථාවක් කියලයි මම කියන්නේ.

මාධ්‍යකරවෙකුට එකම ආරක වැඩසටහන් පමණක් තොරාගෙන ඉදිරියට යන එක ඒ තරම් පහසු නෑ. ඔබේ මාධ්‍ය ගමන බොද්ධ වැඩසටන් සමඟ පමණක් සැදුනු එකක් ද?

නෑ. මම ඇත්තටම බෞද්ධයෙක් ලෙස කුඩා කල සිටම බෞද්ධ පරිසරයක හැදුන වැඩුන නිසා මේ වැඩසටහනට ඉතා සමීප බවක් දක්වනවා. මම උපන්නේ මාතලේ උකුවෙල සුන්දර පරිසරයක් සහිත ගමක. පාසල බෝවත්ත ශ‍්‍රී සුමංගල විදුහලයි. මම ගමේ පන්සලෙන් මේ බෞද්ධ වැඩසටහන්වලට ආරම්භය ගන්නේ. හැබැයි මට ඕනෙ උනේ කොළඹට ඇවිත් රංගන ශිල්පියෙක් වෙන්න. මම 98දි කොළඹට එන්නේ ඒ අරමුණෙන්. මම සුදර්ශියෙන් නාට්‍ය හා රංග කලාව හදාරනවා. පස්සේ ශ‍්‍රී රාහුල කලායතනයටත් සම්බන්ධ වෙනවා.

ඒ කාලෙදි තමයි දිනේෂ් ප‍්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ඔන්න බබෝ සිනමා පටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ මට. ඒ 2000 වසරේ. එතනින් තමයි මගේ කලා ජීවිත ගමන ආරම්භ වෙන්නේ. ඒ වෙනකොටත් මම ගමේ පන්සලේ බෝධි පූජා වැනි ආගමික වැඩසටහන් කරනවා. මුල ඉඳලම මම මූලිකත්ව දුන්නේ ආගම සහ පරිසරය කියන පැතිවලටයි.

ඒ තියෙන උනන්දුව නිසාම මම වෙනස්ම ආරක පරිසර වැඩසටහනක් නිර්මාණය කරන්න කල්පනා කළා. අපේ රටට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ඒ ඉහිහාසයත් එක්කම ගැටගැහැණු මහා පරිසර පද්ධතියකුත් අපට තාමත් ඉතිරි වෙලා තියෙනවා.

ඉතින් මම අපේ රටේ ජනතාවට සාමාන්‍යෙයන් පරිසර පිළිබඳ දකින්නට නොලැබෙන ස්ථාන සහිත ගවේෂණාත්මක ගමනක් එක්ක වැඩසටහනක් නිර්මාණය කරමින් තියෙනවා දැන්. මේ ගමනේදි අපේ රටේ ඉතිහාසය පිළිබඳ මට උපදෙස් දෙන්නේ එල්ලාවල අපේ මේදානන්ද හාමුදුවෝ. උන්වහන්සේ සිහිපත් කළ යුතුමයි. වෛද්‍ය අසාද් උඩුමාන්න මහතා මේ පිළිබඳ උපදෙස් දෙනවා මට. පරිසරයෙන් අප තුළ ඇති කළ හැකි මනෝවිද්‍යාත්මක සාධනීය කාරණා මෙතනදි අපි සාකච්ඡුා කරනවා. දියඇල්ලකින් අපේ මනසේ තරංග වෙනස්වන ආකාරය වැනි දෑ අපි මෙහිදී පැහැදිළි කරනවා.

එපමණක් නොවෙයි. අපි බෝපත් ඇල්ලට ගියොත් අපි අකින්නේ ඒ කඩා හැලෙන දිය දහර පමණයි. හැබැයි මම මේ ගවේෂණාත්මක වාර්තාමය වැඩසටහනෙන් ඒ බෝපත් ඇල්ල ආරම්භ වූ පුංචිම පුංචි වතුර බිංදුව වැටෙන තැන දක්වා සොයා යනවා. මෙයයි මෙහි විශේෂත්වය.

අපට ලෝකය ගැන ඩිස්කවරි වැනි නාලිකායකින් පමණක් දකින්න ලැබෙන ඒ අත්දැකීම් මේ වැඩසටහනෙන් අපේ රට ගැන අපේ රටේ පේ‍්‍රක්ෂකයන්ට ලබාදෙන්නයි මගේ උත්සාහය.

සී.එස්.එන් නාලිකාව නව මුහුණුවරකින්, අලූත් නමකින් නොබෝ දිනකින් ලංකේය පේ‍්‍රක්ෂකයන් වෙත තිළිණ කිරීමට නව කලමනාකරණය සූදානම්. ”පරිසරයයි ජීවිතයයි’’ කියන මේ වැඩසටහනත් ඒත් සමඟම විකාශය වීමට නියමිතයි.
මේ වැඩසටහනත් අබතෙල් පහන් පූජාව වගේම ඉතා සාර්ථකව ජනතාව වැළඳගනීවි යන විශ්වාසය මා තුළ තියෙනවා වගේම එය හො`දම පරිසර වැඩසටන බවට පත්කරනවා කියන අභියෝගාත්මක විශ්වාසයත් මා තුළ තියෙනවා.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *