ප‍්‍රතිරාවය

391 0

ප‍්‍රවෘත්ති පිළිබඳ අන්තර්ජාතික සත්‍ය වන්නේ ප‍්‍රවෘත්ති සත්‍ය සහ අපක්ෂපාතී විය යුතු බවයි.

එහෙත් මෙම සත්‍ය අන්තර්ජාතිකව බිඳවැටෙන බවද සත්‍යයකි. ප‍්‍රවෘත්ති ජනතා විශ්වසනීයත්වයෙන් දුරස්ථවූ මතවාද ගොඩනගන මණ්ඩපයක් බවට පත්ව තිබේ. හඳුනාගත හැකි මූලිකම කරුණ වන්නේ ප‍්‍රවෘත්ති ආධිපත්‍යයේ නිර්මාණයක්ය යන්නය. ආධිපත්‍යය යනු දේශපාලන බලයට පමණක් ලඝු කළ නොහැක. එය ව්‍යාපාරික, ආගමික, සංස්කෘතික සීමාවන් තුළ පැතිර පවතින්නකි. එහෙත් ඉතා දැඩි ලෙස ප‍්‍රවෘත්ති කෙරෙහි දේශපාලන සහ වාණිජ ආධිපත්‍ය පවතින බවත්, බොහෝ ස්ථානවලදී මෙම බල ආධිපත්‍යයන් ද්විත්වයේ එ්කාබද්ධ බලපෑමක් ප‍්‍රවෘත්ති කෙරෙහි පවතින බවත් හඳුනා ගත හැකිය.

අපක්ෂපාතිත්වය හා සත්‍ය සාපේක්ෂව හඳුනා ගත යුත්තකි. පුද්ගලයකුට අපක්ෂපාතී විය හැකිද? එය අභියෝගාත්මක කරුණකි. තමාගේ අත්දැකීමේ හා දැනුමේ සිරකරුවකු වන මිනිසා සියල්ල තීරණය කර ගනු ලබන්නේ මෙම පදනමට අනුවය. සත්‍ය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමේදී මෙම ගැටලූවට නිරන්තරයෙන්ම මුහුණදීමට සිදු වේ.

මාධ්‍යවේදියා වෘත්තිකයෙකි. වෘත්තිකයෝ අපක්ෂපාතිකය. ඔවුන් කිසිවෙකුටත් යටත් නොවී මධ්‍යස්ථව නිවැරදිව සත්‍ය ඉදිරිපත් කිරීමේ වෘත්තික වගකීමක නිරතව සිටිති. එහෙත් මූලිකම සාධකය වන්නේ ඔවුන් පාලනය කරනු ලබන බලවේගවල ඉත්තන් බවට පත් වීමට සිදුවන බවයි. තම හෘද සාක්ෂියට එකඟ නොවන ආකාරයෙන් වුවද වෘත්තිය ආරක්ෂා කර ගැනීමට අසත්‍ය වාර්තා කිරීමට සිදු වේ. අනෙක් සාධකය වන්නේ සත්‍ය දැන දැනත් තමාගේ මතවාදවලට තමා ගරු කරන අදහසට අනුගත වෙමින් අසත්‍යම වාර්තා කිරීමයි. සත්‍ය සැඟවීමයි. සත්‍ය පිළිබඳ අදාළ නොවූ අර්ථ කථන ඉදිරිපත් කරමින් සත්‍ය සොයා ගැනීමට ඇති මාවත් අහුරා දැමීමයි. මෙය හුදෙක් තමාගේ තම කණ්ඩායමේ ලාභ අපේක්ෂාව සඳහා සිදු කරන්නක් වුවද එය තම වෘත්තික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව ඔවුහු දැන සිටිය යුතුය.

මාධ්‍යවේදියා සමාජයට මග පෙන්වන්නකි. සමාජයට ඉදිරියෙන් සිටින්නකි. ලංකා නිවුස් ටේබල් උත්සාහ කරන්නේ මෙම ප‍්‍රතිපත්තිමය පදනම ජීවමාන එකක් බව පත් කිරීමය. අප කිසිවෙකුටත් පක්ෂපාතී නොවන්නෙමු. අපේ පක්ෂපාතිත්වය සත්‍යයටය. එම සත්‍ය දේශීය වටිනාකම් ඔස්සේ වර්ධනය වූ ජනතාවගේ අපේක්ෂාවයි. දේශයේ අභිවර්ධනයයි. අපි ඔබට ආරාධනා කරන්නේ  ඉහත ප‍්‍රතිපත්තිමය පදනමේ පිහිටා අප හා එක්වන ලෙසයි. සමාජය තුළ වෛරය වැපිරීමට වංචනිකයන් සුරකීමට ඇති අවකාශ අහුරා දැමීමට අපි කැපවීමකින් කටයුතු කරමු. ඔබද එ් සඳහා එක්වනු ඇතැයි යන්න අපේ අපේක්ෂාවයි.

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *