මා සෑම සංගීත සම්ප‍්‍රදායකට ම ගරු කරනවා. එහෙත් වඩාත් ඇසුරු කරන්නේ බටහිර සම්භාව්‍ය සංගීතය යි – දර්ශන රුවන් දිසානායක

562 0
මෙරට ගීත නිර්මාණ බහුතරයක ම ඇත්තේ ඉන්දියානු රාගධාරී සංගීත ආභාෂය යැයි කීම වරදක් නොවේ. ඇතැමුන් අපේ යැයි කියමින්, සුභාවිත ගීත යැයි වර්ග කරමින්, පෙන්වන්නේ ද ඉන්දීය සංගීත සම්ප‍්‍රදායයන් ආශ‍්‍රයෙන් කළ නිර්මාණ බව ද රහසක් නොවේ. ඒ අතර මෙරට ගැමි ගීත, ජනශ‍්‍රැත හා ආදිවාසීන්ගේ සාම්ප‍්‍රදායික ගීත අලලා කළ නිර්මාණ ද නැතුවා නොවේ.
එහෙත් වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය සංගීතය සාමාන්‍ය ගීත නිර්මාණයන් අභිබවා ගිය වෙනස් ආරක සංගීතමය අත්දැකීමක් බව පැහැදිළි ය. තිර පිටපතක, නාට්‍ය පිටපතක, ඇති භාව ප‍්‍රකාශනයන් සංගීතය තුළින් ඉස්මතු කරමින් ඒවා නිර්මාණය වී ඇති බවත්, සාමාන්‍ය සංගීත නාදයන් අභිබවා යන්නා වූ වර්ණයක් ඒ තුළ ඇති බවත්, විෂයානු බද්ධ විචාරකන් ගේ මතය යි.
ශ‍්‍රී ලංකේය සිනමා කර්මාන්තය තුළ දැවැන්තයන් බොහොමයකි. ඒ අතර මෑත යුගයේ බිහි වූ සුවිශේෂ නිර්මාපකයන් අතලොස්සකි. ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ප‍්‍රසන්න විතානගේ ඉන් කිහිප දෙනෙකි. ඉකුත් වසරේ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය සිනමා නිර්මාණයට හිමි වූයේ සුවිශේෂ තැනකි. එපමණක් නොව, එහි සංගීතය මෙන් ම ගීත නිර්මාණයන් ද මෙරට මෙන් ම ජාත්‍යන්තරයේ ද ඇගැයීමට ලක් වුණි. කතාබහට ලක්වුණි. සම්මානයට පාත‍්‍රවුණි. එහි සංගීත නිර්මාණකරු ප‍්‍රවීනයැයි සම්මත අයෙකුනම් නොවේ. අප දන්නා ප‍්‍රවීනයන් අතර ඔහු නවකයෙකි. එහෙත් ඔහු සතු නිර්මාණ කුසලතා ගුණය ඇතැම් ප‍්‍රවීනයන් ද අභිබවා යයි. මේ කෙටි පිලිසඳර ඒ නිර්මාණකරු සමඟ ය. ඔහු දර්ශන රුවන් දිසානායක ය.
දර්ශන. මෑතක දී ඔබේ නම මෙරට මෙන් ම ජාත්‍යන්තරයේ ද යම් කතා බහකට ලක්වෙමින් තිබෙනවා. එමෙන් ම ඔබ අතින් කෙරෙන බොහෝ නිර්මාණ ක්ෂේත‍්‍රය තුළ සංවාදයට බඳුන්වනවා. ඔබේ ඇතැම් නිර්මාණ බටහිර සංගීත ආරට කිට්ටුයි. තවත් සමහරක් රාගධාරී මුහුණුවරක් ගන්නවා. ඇත්තට ම ඔබ තුළ තිබෙන්නේ අපේ ජන සංගීතය ද, බටහිර සංගීතය ද එසෙත් නැත්නම් ඉන්දියානු රාගධාරී සංගීතය ද, කුමක් ද ඔබේ සංගීත සම්ප‍්‍රදාය?
ඇත්තෙන් ම සංගීත සම්ප‍්‍රදායක් ලෙස මා වඩාත් ඇසුරු කරන්නේ බටහිර සම්භාව්‍ය සංගීතය යි. එහෙත් ලොව ඇති සෑම සංගීත ක‍්‍රමයක් ම මා අධ්‍යයනය කරනවා. ඒවාගේ ඇති තියුණු තැන් ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ඒවාගේ තිබෙන දේ මගේ නිර්මාණවලට ගෙඩි පිටින් යොදාගැනීමක් ගැන නෙමෙයි. ඒවාගේ තිබෙන ඇතැම් සියුම් තැන් ඉතාමත් උසස් වන්නට පුළුවන්. අන්න ඒ දේවලින් රටක් ලෙස ශ‍්‍රී ලංකාව කියන අපේ සලකුණට, අපේ අනන්‍යතාවට ගැලැපෙන දේ පමණක් අරගෙන මගේ නිර්මාණවලට ඒවා යොදාගන්නවා. ඒ මාත්තුව ඉතාම පරිස්සමින් කළ යුතු වෙනවා. එසේ නැතිනම් අපට ඉතිරිවන්නේ අපේ සංගීතය කියන ඉතිහාසයක් පමණයි.
මගේ නිර්මාණට මම විවිධ සම්ප‍්‍රදායන් භාවිත කරනවා. උදාහරණයක් ලෙස සමනල සංධ්වනිය සිනමා පටය ගන්නට පුළුවන්. විවිධ වූ සංගීත ආකෘති කිහිපයක් යොදගෙන කළ නිර්මාණ එකතුවක් ඒ සිනමා පටයේ තිබෙනවා. එහි මුල් ගීතය කුඩා ගැහැණු ළමයකු විසින් ඇගේ ගායනා කරනු ලබන ගීතයක්. එතනදි අපේ රටේ පාසල් අධ්‍යාපනය තුළ වැඩිපුර උගන්වන්නේ ඉන්දියානු රාගධාරී සංගීතය නිසා ම මම ඊට යොදාගත්තේ ඉන්දියානු රාගධාරී සංගීතය යි. නමුත් ඉකි ගසා හඬන කියන එහි දෙවැනි ගීතය වෙනස් එකක්. ඊට මම යොදාගන්නේ බටහිර සම්භාව්‍ය සංගීතය යි. ඊ ළඟට එහි අවසන් ගීතය ගගන සරන්නට. ඒ සඳහා මම යොදගෙන්නේ අද ලෝකයේ සංගීත උම්මාදයක් වී තිබෙන ලැටින් – ස්පැනිෂ්, කියන ශෛලිය. මේ තුන තුන් ආකාරයක්.
ඉතින් මම මේ සෑම සංගීත ක‍්‍රමයකට ම ගරු කරනවා. ඒවා මගේ නිර්මාණවලදී මූලික දේවල් ලෙස තබාගන්නවා හැරෙන්න ට මට තෝරාගත් එක් ක‍්‍රමයක් නෑ. එහෙත් මගේ සෑම නිර්මාණයක් තුළ ම අපේ සලකුණ කොතැනක හෝ මම තබනවා. මොකද අපට අපේ මේ මහ පොලොවෙන් බිහිවුණු අපේ ජන සංගීතයක් තිබෙනවා. ගගන සරන්නට ගීතය ලැටින් – ස්පැනිෂ් වුණත් එහි ආරම්භය සිදුවන්නේ ජන නාද මාලාවකින්. මා තුළ ඇති විශේෂත්වයත් එයයි මා සිතන්නේ. එය පැහැදිළි ලෙස දැකගන්න ට පුළුවන් අවස්ථාවන් වන්නේ අපේ රටෙන් එපිට ට මගේ නිර්මාණ රැුගෙන යන අවස්ථාවල දී විශ්ව සංගීතය ගැන අවබෝධයක් තිබෙන විචාරකයින් පවා මගේ නාදමාලා ඉතා පැහැදිළි ව හඳුනාගන්නවා ඒ ශ‍්‍රී ලංකාවේ නිර්මාණයක් ලෙස.
මහා ශිෂ්ඨාචාරයක් තිබුණ ජාතියක් අපි. අපේ පැල් ගවි ගොයම් කවි අස්සේ හැංගුන මහා සංගීතයක් තිබෙනවා. අද අපි අපේ සංගීතය යනුවෙන් හඳුන්වන්නේ ඒ සංගීතයේ ඉතා ම ප‍්‍රාථමික අවදියක් පමණයි. අපේ මේ ජනශ‍්‍රැති, ජන කවි, බලි, ශාන්තිකර්ම, කංකාරි ආදිය විද්‍යාත්මක ව අධ්‍යයනය කළොත් අපට ඒ අපේ මහා ශිෂ්ඨාචාරය සොයා ගන්නටත් පුළුවන්.
මම ඉපදුනේ පොලොන්නරුවේ. රජරට ඉපදීම තමයි මා ලද ආශිර්වාදය මේ ගමනට. අද මා සතුව යමක් ඇත්නම් එය රජරටින් දල්වා ගත් එකක් බව කිවයුතුයි. මා මේ කියන්නේ ගමේ කම යැයි බොහෝ දෙනා කියනා ඒ අවිද්‍යාව ට නොවෙයි.
ලොව ශේෂ්ඨ සංගීතඥයන් පමණක් නොව මෙරට සුවිශේෂ සංගීතඥයන් ද ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් ඔවුන්ගේ සලකුණ සහිත සංගීත වැඩසටහන් නිර්මාණය කර තිබෙනවා. නන්දා මාලනී මහත්මියගෙ පවන, කපුගේ ශූරීන්ගේ කම්පන, වික්ටර් රත්නායක මහත්මාගේ සා පුසංගය ඉන් කිහිපයක්. මේ ආකාරයෙන් මෙතෙක් ඔබ විසින් කළ ගීත නිර්මාණ හෝ වෙතන් සංගීත නිර්මාණ එක්කොට ඔබේ අනන්‍යතාව හැඟවීමට යම් උත්සාහයක් ගෙන තිබේද යන්න අවසන් වශයෙන් සඳහන් කළොත්?
ගීතය යන්නෙන් අදහස් කරන්නේ සංගීතයේ අග‍්‍රඵලය කොවෙයි. ඒ නිසා මාගේ නිර්මාණවල එක් කොටසක් පමණයි ගීත. ඒ හැරෙන්නට සුවිශේෂ සංගීත නිර්මාණ කිහිපයක් ම මේ වන විට නිර්මාණය කරලා තිබෙනවාත එයින් එකක් ලොව දීර්ඝත ම බෞද්ධ කැන්ටාටාව. එය පොලොන්නරුව ගල්විහාරේ දී 2010 වසරේ මම එලිදැක්වූවා. බෞද්ධාගමික මුහුණුවරක් ගත් නිර්මාණයක් එය. ඉන් පසුව ඔපෙරාවක් නිර්මාණය කළා. අපේ ජන සංගීතය ද ඇතුළු ව විශ්ව සංගීතය ඇසුරු කරගනිමින් මම මගේ සංගීතාත්මය නමින් ප‍්‍රසංගයක් නිර්මාණය කළා. එය විදේශ රටවලට නිර්මාණය කළ එකක්. මේ තුළ ඇත්තේ ගීත පමණක් නොවේ. සිම්පනි, ඔපෙරා ආදී සංගීතයේ උච්චතම අවස්ථාවලින් සමන්විතයි.
ඊට අමතර ව මන්නර පව්ව සංගීත වැඩසටහන දේශීය සංගීත ලෝලීන් වෙනුවෙන් නිර්මාණය කළා. එහි පළමු ප‍්‍රසංගය නෙළුම් පොකුණෙන් ආරම්භ කළා.
ඒ හැරෙන්න ට මම විශේෂ සංගීත වැඩමුළු මාලාවක් කරගෙන යනවා. එහිදී සංගීත ගුරුවරුන්, සංගීත විෂය හදාරන සිසුන්, සිවිල් සමාජය, වෘත්තිකයන්, වැනි විවිධ පාර්ශ්ව සමඟ යම් කතාකාවක් ගොඩනගමින් යනවා සංගීතය ආශ‍්‍රිත ශ‍්‍රී ලංකාවේ කලාවන් පිළිබඳ.
අවසන් වශයෙන් කීමට ඇත්තේ?
ඔව්. මම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුව තිබෙනවා මා මේ පැමිණි ගමන් මගෙහි දී හමු වූ සුවිශේෂ චරිත කිහිපයක්. පළමුවෙන් ම ජයන්ත චන්ද්‍රසිරි. ඔහුයි මා සිනමා කර්මාන්තයට කැඳවාගෙන එන්නේ. ඒත් සමඟ ම සිහිපත් කළ යුතුයි රෝහණ වීරසිංහයන්. ඔහු ප‍්‍රවීනයෙක් ලෙස මා ගරු කරන චරිතයක්. මට තාමත් මතකයි සමනල සන්ධ්වනිය සිනමා පටයට මා සම්මාන ලබා වේදිකාවෙන් බසින අවස්ථාවේ දී අඳුරේ පැමිණ මට සුභ පැතූ හැටි. එවන් අයයි නියම ප‍්‍රවීනයෝ. ඒ විගේ ම ටී.එම්. ජයරත්න මහතා. ඔහු අදටත් මාගේ නව නිර්මාණයක් දුටු විට දුරකතන ඇමැතුමකින් හෝ සුභ පතනවා. ඔවුන් තමයි ඇත්ත ප‍්‍රවීනයෝ. තවත් නම් කීමට නොහැකි තරම් බොහෝ අය සිටිනවා හදවතින් මාගේ ගමනට සුභ පතන හා කෙනෙහිලිකම් කරමින් මා දිරිමත් කරන. ඒ සැවොම පොලොන්නරුවෙන් කොළඹට පැමිණ එතැනින් ජාත්‍යන්තරය දක්වා මා ගිය කටුක ගමනට සහයෝගය දැක්වූ අයයි.
සංවාද සටහන – ජනක බලල්ල

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *