”සංගීතය පිළිබඳ මෙරට නීති ප්‍රතිසංස්කරණය වියයුතුයි” – සංගීතවේදී, නීතීඥ නදීර ශ‍්‍රී ඒකනායක

349 0
‘‘මගේ ආදර සුමුදු දළුව’’ කියන්නේ මේ දිනවල ගුවන් විදුලියෙන් අසන්නට ලැබෙන සහ රූපවාහිනී නාලිකාවලින් අප නිතර දකින ජනප‍්‍රිය ගීතයක්. යම් ශාස්ත‍්‍රීය හැඩයකට නිර්මාණය වී මෙම ගීතය තාරුණ්‍යය ඉලක්ක කරගනිමින් ගීත නිර්මාණය වන මෙවැනි කාල වකවානුවක එය ජනතාව අතරට ගෙන යෑමේ අභියෝගය භාර ගන්නේ එහි නිර්මාණකරු සහ ගායකයා ද වන නදීර ශ‍්‍රී ඒකනායකයි. අද අපි කතා කරන්නේ නදීර සමඟයි.

FB_IMG_1469435003021

නදීරගේ අලූත් ගීතය මේ දිනවල අපි නිතර දකිනවා. සමාජජාලවල ඔබේ ගීත කිහිපයක් ම නිතර හුවමාරු වෙනවා. අලූත් ගීතය ගැන වගේම ඔබේ නිර්මාණ ගැනත් කැමැතියි දැනගන්න ටිකක්. ?

මේ වන තුරු මම මියුසික් වීඩියෝ කීපයක් කරලා තියෙනවා. ඒවාගෙන් මේ දිනවල රූපවාහිනී නාලිකාවල නිතර දකින ‘‘මගේ ආදර සුමුදු දළුව’’ කියන මියුසික් වීඩියෝවට තමයි වැඩිම ප‍්‍රතිචාර ලැබෙමින් තිබෙන්නේ. එය මගේම නිර්මාණයක්. ඊට අමතර මම ගීත 15 පමණ කරලා තිබෙනවා. ඒවාගෙන් ‘සුරේෂ් මාලියද්ද’ සංගීතවත් කළ ‘‘නුවර දුර අතීතේ’’ කියන ගීතයටත් දර්ශන රුවන් දිසානායක සංගීතවත් කළ ‘‘මිහිරියේ හිත කැමතිද’’ ගීතයටත් බොහෝ ප‍්‍රතිචාර ලැබුණා. මේ ගීත අන්තර්ජාලයේ වගේම මාධ්‍ය මඟිනුත් දැනටමත් ප‍්‍රචාරය වන ගීතයි. තවත් ගීත තුනකත් පටිගතකිරීම් කරමින් යනවා මේ වන විටත්.

ඔබ වෘත්තීයෙන් නීතිඥවරයෙක්. මොකක්ද මේ සංගීතයක් එක්ක තිබෙන සම්බන්ධය. ඔබ සංගීතය හදාරපු කෙනෙක් ද?

මම සංගීතයට එන්නේ පාසල් අවදියේ දි ම යි. මගේ පාසල මහව විජයබා මධ්‍ය විදාලය. උසස් පෙළටත් මම හැදෑරුවේ සංගීත විෂය. මධුසංක විජේකෝන් මහතා සහ රොහිණී දසනායක මහත්මිය මගේ මුල් අවදියේ සංගීත ගුරුවරු. මට විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නෙත් සංගීත අංශයෙන්.

පාසල් කාලෙදි මට තිබුණා සංගීත කණ්ඩායමක් ‘සී-ගල්ස්’ කියලා. 1993 පමණ පටන් ගත්ත ඒ සංගීත කණ්ඩායම මහව ප‍්‍රදේශයෙන් බිහිවුණු පළමු සංගීත කණ්ඩායමයි. ඒ වෙනකොට හොඳ මට්ටමේ වාදක ශිල්පීන් පිරිසක් ඒ කණ්ඩායමේ හිටියා මට. අපි මුලින් ම සුනිල් එදිරිසිංහයන්ගේ ප‍්‍රසංගයක් කළා ‘මන්දාකිනි’ කියලා. ඒක ඒ ප‍්‍ර දේශයේ ඉතාම ජනප‍්‍රිය වුණා ඒ කාලේ. ඉන් පස්සේ මට එවැනි ප‍්‍රසංග කීපයක් ම කිරීමට ආවස්ථාව ලැබුණා. ඉන් පස්සෙ මගේ සංගීත කණ්ඩායමත් මන්දාකිනි කියල ම නම වෙනස් වුණා. කියන්න අවශ්‍යයයි මේකත්. මගේ මාර්ගෝපදේශකයා වුණේ ඇත්තට ම සුනිල් එදිරිසිංහ සර් තමයි. මම එතනින් ඔහුගෙන් ගුරුහරුකම් ලබන්න පටන් ගත්තා. එතනින් පටන් ගත්ත ඒ සම්බන්ධය තවත් එලෙසින් ම පවත්වාගෙන යනවා මම.

හැබැයි මට පාසල් අවදියෙන් පස්සේ ටික කාලෙකට සංගීතය මඟහැරෙනවා. උසස් පෙළ සමත් වෙලා සංගීතය පැත්තෙන් විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණත් මම යන්නේ ගුරු විද්‍යාලයට. ඒකෙන් මට කෙටි කාලෙකට සංගීතය අතහැරෙනවා. මම ගුරු විද්‍යාලයෙන් එළියට ඇවිල්ලා අවුරුදු 8ක් ඉංග‍්‍රීසි ගුරුවරයෙක් විදිහට පාසල්වල වැඩකරනවා. ඒ කාලෙදි සංගීතය පිළිබඳ යම් යම් දේ කළත් ප‍්‍රධාන ධාරාවේ දෙයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ.

එතනින් මම නීති විද්‍යාලයට එනවා 2008 වසරෙදි. නීති විද්‍යලයේ අධ්‍යයන කටයුතු අවසන් කරලා 2011දි නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දුන්නට පස්සේ මට රැුකියාවක් කරන්න ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ. එහි කතා පරිවර්ථකයෙක් ලෙස මම වැඩකරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ තමයි මගේ සංගීත ජීවිතය නැවතත් පණගන්වන්න පුළුවන් වෙන්නේ මට.

ඔබ කියන්නේ නීතීඥවෘත්තීයට ආවාට පසුව ඔබේ සංගීත නිර්මාණ බිහිවෙන්න පටන් ගත්තා කියලද?

මම දැකපු දෙක් තමයි හැකියාව උනන්දුව පමණක් තිබුණට මේ ක්ෂේත‍්‍රවල ඉස්සරහට එන්න බෑ කියන එක. මට ම ලැබුණු අත්දැකීම්වලින් මම ඒක දැනගත්තා. මම නීතීඥවරයෙක් වෙන්නට පෙරත් සංගීතය පිළිබඳ මේ තියෙන දැනුම ඒ ආකාරයෙන් ම තිබුණා. හැබැයි කොළඹත් එක්ක කිට්ටු සම්බන්ධකමක්නම් තිබුණෙ නෑ. පසු කාලීන ව කොළඹ ට පැමිණීමෙන් පස්සේ ලැබුණ සම්බන්ධතා නිසා තමයි මේ දැනට ලැබිලා තිබෙන සහ ලැබෙමින් පවතින සියල්ල ලැබෙන්න පටන් ගත්තේ.

මෙන්න මේකයි දක්ෂයන්ට හොඳ ගමනක් එන්න තියෙන බාධාව. සංගීතයට පමණක් නොවෙයි, මේක අපේ රටේ බොහෝ ක්ෂේත‍්‍රවලට තිබෙන ගැටළුවක්. ගමෙන් බිහිවෙනවා අති දක්ෂයන්. ඒ අය හැකි පමණින් උත්සාහ ගන්නවා යම් දෙයක් මේ සමාජයට ඉතුරු කරලා මිය යන්න. හැබැයි ඒ අයට කොළඹට එන්න අවස්ථාවක් නෑ. ජනමාධ්‍ය ඇසුරු කරන්න අවස්ථාවක් නෑ. ප‍්‍රවීනයන් සමඟ වැඩකරන්න අවස්ථාවක් නෑ. ඒ නිසා බොහෝ දක්ෂයන්ට සිද්ධ වෙන්නේ කිසිවක් නොකරම අකාලයේ මිය යන්න.

ඔබ ඔය චොදනා කරන්නේ කාටද?

මම චෝදනා කරනවටත් වඩා මේ කරන්නේ යෝජනා. අපේ රටේ සංගීත අනුමණ්ඩලයක් තිබෙනවා. ඊට අමතර ව සංස්තෘතික දෙපාර්තමේන්තු තිබෙනවා. හැබැයි පාසල් පද්ධතියෙන් අතහැරුණට පස්සේ ඒ පිරිස් ගැන සොයාබැලීමක් කරලා එතනින් ඉදිරියට ඒ අයව ගෙන එන්න මාර්ගෝපදේශයක්වත් ඒ ආයතනවලින් ලැබෙන්නේ නෑ. අපේ රටේ තිබෙන රාජ්‍ය යාන්ත‍්‍රණය ඉතා ම දුර්වලයි මේ කාරණයේ දී. රට තුළ සිටින විවිධ ක්ෂේත‍්‍රවල දක්ෂයෝ උඩට ගන්න රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ නිසි වැඩපිළිවෙලක් නෑ. පාසල් මට්ටමට පස්සේ ඒ ඒ අය ඒ ඒ දක්ෂතා මත බෙදලා උඩට ගේන ක‍්‍රමවේදයක් රට තුළ නෑ. අපේ රටේ පුදුමාකාර අවිදිමත් ගමනක් තිබෙන්නේ. වෙන රටවල එහෙම නෙමෙයි. කුඩා කල සිටිම යම් ක‍්‍රමවේද තිබෙනවා ළමයින් හඳුනාගෙන ඒ යොමුකිරීම කරන්න. අපේ රටේ දේශපාලනයට පිංසිද්ධ වෙන්න එවැනි කිසිදු වැඩපිළිවෙලක් නෑ තාම අටේ අනාගත පරපුර නිර්මාණ කරන්න. ඒක ඉතාම තදින් සංගීත ක්ෂේත‍්‍රයටත් බලපාලා තිබෙනවා. මේවා ප‍්‍රතිපත්ති සම්පාදනය කරන තැනෙන් පටන්ගන්න ඕනේ.

පාර්ලිමේන්තුවේ සංගීතය හදාරපු අය ඉන්න ඕනෙ කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි රටේ සංගීතය ගැන දන්න, ඒ පිළිබඳ යමක් කරමින් සිටින පිරිසගේ අදහස් යෝජනා උපදෙස් ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි ඒ නායකයන් ට. එහෙම නැතුව මින් ඉදිරියටත් මේ දේවල් වෙනස් වෙන එකක් නෑ ඉදිරියටත්.

ඔබ ගීත ගායනයේ දී යම් තොරාගැනීමක් කරන බවත් පේනවා. දැනට ඔබ නිර්මාණය කර තිබෙන ගීත දෙස බැලීමේ දී ත් පෙනෙන්නේ ශාස්ත‍්‍රීය පසුබිමක තිබෙන ගීත පමණක් ඔබ තොරාගන්නා බවයි. එහෙත් අද වැඩිම ඉල්ලූම තිබෙන්නේ එවැනි ගීතවලට නොවෙයි. ඉතින් ඒ නිසා තාරුණ්‍ය ඉල්ලන ආරයේ ජනප‍්‍රිය තලයේ ගීත නිර්මාණයන් ගැන ඔබ කල්පනා කර නැද්ද?

මෙහෙමයි. චිත‍්‍රපටයෙදිත් වානිජ සහ සම්භ්‍යාව්‍ය කියලා දෙපැත්තක නිර්මාණ බිහිවෙනවනේ. එහෙම පුළුවන්නම් ඇයි ගීතය ඇතුළේ ඒක කරන්න බැරි. මම කියන්නේ සුභාවිත ගීතයෙනුත් ඒ දෙපැත්තට ම ගන්න පුළුවන් ගීත නිර්මාණය කරන්න පුළුවන් කියලයි. මම මගේ තේමාව යොදාගෙන තිබෙන්නෙත් සුභාවිත ගීතයේ ජනප‍්‍රිය නූතන ලකුණ කියලයි. මම බලාපොරොත්තු වෙන්නේ සමාජ කාරණයක් වෙනුවෙන් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සංගීත නිර්මාණය විය යුතුයි. ආණ්ඩුවකුත් කළ යුත්තේ ඒවා හඳුනෙගෙන ඒවා ඉදිරියට ගෙන ඒමට ක‍්‍රියාකරන එකයි. මේ කලා ක්ෂේත‍්‍ර යේ නියැලිලා සිටින අයටත් ලොකු වගකීමක් තිබෙනවා ඒ ගැන. ඒ වගකීම මා තුළත් තිබෙනවා. ගීතයක් කියන්නේ ශබ්ද ගොඩකට වඩා සාරවත් එකක් විය යුතුයි. ඒවාගේ වචන තුළ ඇති අර්ථ රසය පිළිබඳ යම් ප‍්‍රමිතියක් හඳුන්වාදිය යුතුයි.

ඒ සඳහා යොජනාකරන වැඩපිළිවෙලක් තිබෙනවද ඔබට?

මම නීතීඥවරයෙක් විදිහට ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා සංගීතය පිළිබඳ විය යුතු නීති ප‍්‍රතිසංස්කරණය පිළිබඳ යෝජනාවලික් රජයට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ ගැන සමාජය තුළත් යම් කතිකාවක් ගොඩනඟන්න සහ ඒ කරුණු ඇතුළත් කරලා පොතක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ම රිගින්ග් ටෝන් වැනි ව්‍යාපාර ගැන මෙන් ම ඒවාගෙන් එළියට දමන නිර්මාණවල ඇති ප‍්‍රමිතීන් ගැනත් සාකච්ඡුා කළ යුතුයි අපි. ඕස්ට‍්‍රේලියාව, ඇමෙරිකාව වැනි රටවල පවා වාරණ මණ්ඩල තිබෙනවා මේවාට.

කෙනෙක් ට නිර්මාණයක් කරන්න පුළුවන්. හැබැයි ඒ නිර්මාණය සමාජගත කිරීමට සුදුසුද යන්න තීරණය කිරීමට යම් තැනක් අවශ්‍යයි. ආයතනයක් අවශ්‍යයි. ඒකට මැදිහත් විය යුත්තේ රජයයි. දැනට තිබෙන ඉබාගාතේ දුවන ක‍්‍රමය වෙනුවට යම් ප‍්‍රමිතිකරණයක් සොයාගත යුතුයි අපේ රටේ සංගීතය ඉදිරියට තවදුරටත් ගෙනයෑමට නම්.

(සාකච්ඡා කළේ ජනක බලල්ල)

FB_IMG_1469802336786

No Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *